Local News

ජනරජ පෙරහැර ඇරඹේ.

Published

on

ජනාධිපති ප්‍රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙරට පස්වන ජනරජ පෙරහැර අතිඋත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරය පුරා විථි සංචාරය කිරීම මීට සුළු වේලාවකට පෙර සුබ මොහොතින් ආරම්භ වූවා. දළදා කරඩුව වෙනුවට ජනරජ ලාංඡනය ඇතා පිට රැගෙන යන මෙම පෙරහර වීථි සංචාරය කෙරෙන්නේ වසර 35කට පසුවය. අභිමානවත් 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව විශේෂ ජනරජ පෙරහැරක් මහනුවර දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා උපදෙස්දී තිබුණා. ”ජනරජ පෙරහර” යනු රටේ සුවිශේෂි සිදුවීමක් වන අවස්ථාවකදී රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත දළදා පෙරහැරට අමතරව පවත්වන තවත් සුවිශේෂී පෙරහැරකි. මෙහි විශේෂත්වය වන්නේ ජනරජ පෙරහැරදී ඇතා පිට දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංජනය රැගෙන යාමය. ශ්‍රී ලංකාවේ මේ දක්වා ජනරජ පෙරහැර 4ක් පවත්වා තිබෙනවා. වේල්සයේ ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණීම සනිටුහන් කරමින් 1875 වසරේදී පළමු ජනරජ පෙරහැර පවත්වා තිබෙන අතර, 1954දී දෙවන ජනරජ පෙරහැර පවත්වා ඇත්තේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ පැමිණීම වෙනුවෙනි. වික්ටෝරියා ජලාශ්‍රය විවෘත කිරීම සඳහා දෙවැනි එලිසබෙත් මහ රැජින දෙවන වරටත් ලංකාවට පැමිණීමේ අවස්ථාව සනිටුහන් කරමින් 1981දී තුන්වන ජනරජ පෙරහැර පවත්වා තිබෙන අතර 1987 දෙසැම්බර් 31 වන දින සිව්වන ජනරජ පෙරහර පවත්වා ඇත්තේ මහනුවර දළදා මාළිගාවේ රන් වියන විවෘත කිරීම වෙනුවෙනි. ඒ අනුව වසර 35කට පසු අද දින පස්වැනි ජනරජ පෙරහැර වීථි සංචාරය කෙරෙන්නේ 75 වැනි නිදහස් සැමරුමට සමගාමීව මෙරට සංචාරක කර්මාන්තයට විදේශිකයින්ගේ අවධානය යොමු කරගැනීමේ අරමුණිනි.

Trending

Exit mobile version