International

ජනපති වෙස්ට්මිනිස්ටර් මාලිගයට පැමිණෙයි.

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගය වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේහය තැන්පත් කර ඇති ස්ථානය වෙත පැමිණි බවයි. අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට ඇගේ මුණුබුරු මිණිබිරියන් ඊයේ අවසන් ගෞරව දැක්වූවා. රජ පවුලේ මුණුබුරු මිණිබිරියන් රාජකීය අවමංගල්‍ය උත්සවයක දී ගෞරව දැක්වීමක් සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රථමවරට වීම විශේෂත්වයක්. ඒ අනුව චාල්ස් රජුගේ ඉල්ලීම පරිදි රැජිනට ගෞරව දැක්වීම සඳහා වේල්සයේ විලියම් කුමරු සහ හැරී කුමරු අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. දෙවැනි එළිසබෙත් මහ රැජිනියගේ දියණිය වන ඈන් කුමරියගේ දරුවන් වන පීටර් පිලිප් සහ සාරා ටින්ඩාල්, ඇන්ඩෘෘ කුමරුගේ දියණියන් දෙදෙනා වන බියට්‍රිස් සහ ඉයුජීන්, එඩ්වඩ් කුමරුගේ දරුවන් වන ලුවිස් ඇලිස් එලිසබෙත් ආර්යාව සහ ජේම්ස් කුමරු අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වුණා.
විනාඩි 15ක කාලයක් මුණුබුරු මිණිබිරියන් රැජිනට ගෞරව දක්වමින් දෙන වටා රැඳී සිටියා. හෙට දින පැවැත්වීමට නියමිත එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා රාජ්‍ය නායකයින් රැසක් ලන්ඩනය වෙත පැමිණෙමින් සිටිනවා. අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ ආර්යාව වන ජිල් බයිඩන් ද ලන්ඩනයේ ස්ටෑන්ස්ටඩ් ගුවන් තොටුපළට පැමිණියා. අමෙරිකානු ජනාධිපතිවරයා අද දිනයේ දී බ්‍රිතාන්‍යයේ නව රජු වන තුන්වැනි චාල්ස් රජු සමග විශේෂ හමුවකට සහභාගි වීමට ද නියමිතයි. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝද රැජිනට අවසන් ගෞරව දැක්වීමට එක්වුණා. ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බර්නීස් සහ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ ඔස්ට්‍රේලියානු නියෝජිතයා මෙන්ම එරට ආණ්ඩුකාර ධුරය දරන ඩේවිඩ් හර්ලීද රැජිනට ගෞරව දැක්වීම සදහා එක්වුණා. දෙවැනි එළිසබෙත් රැජිනට ගෞරව දැක්වීම සඳහා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්, එම ආර්යාව කිම් කියෝන් සහ ජපාන අධිරාජ්‍යයා ද මේ වනවිට ලන්ඩනය වෙත ළඟා වී සිටිනවා. මේ අතර එලිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා තවදුරටත් පෝලිම්වලට රැස් නොවන ලෙස එරට රජය ජනතාවට දැනුම්දී තිබෙනවා. ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ලන්ඩන් නුවර ආරක්ෂාව දැඩි කරමින් පොලිස් නිලධාරීන් 20,000කට අධික පිරිසක් රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

Trending

Exit mobile version