Local News

ජනපති මරණීය දණ්ඩනයට අත්සන් නොතබන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි.

Published

on

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනෙකුගේ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගනු ලැබු තීරණයක් බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (31) විභාගයට ගැනුනා. එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ සඳහන් කළේ එම ලේඛන වලට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇති බවයි. මේ බව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. අද මෙම පෙත්සම කැඳවනු ලැබුවේ විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි. නීතිපතිවරයා මේ පිළිබඳ ඊයේ (30) ජනාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමක දී ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතිචාරය වී ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා අත්සන් නොකරන බවයි. අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගන්නා අවස්ථාවේ මේ පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙස ද ජනාධිපතිවරයා නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

Trending

Exit mobile version