International

චීනය සහ ඇමරිකාව අතර තවත් අර්බුදයක් – ඇමරිකානු කතානායකවරිය තායිවානයට ගොඩබසී.

Published

on

බරපතල ප්‍රතිවිපාක පිළිබඳ චීනයේ දැඩි තර්ජන නොතකා එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසි අද (02) රාත්‍රියේ තායිවානයට පැමිණියේ, වසර 25 කට පසු තායිවානයට ගිය ප්‍රථම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා බවට පත්වෙමින්. කෙසේ වෙතත් පෙලෝසි සංචාරය ක්‍රියාත්මක වුවහොත් එයට එරෙහි චීනයේ “අධිෂ්ඨානශීලී සහ ශක්තිමත් ක්‍රියාමාර්ග” වල ප්‍රතිවිපාක පිලිබඳ චීනය අනතුරු අඟවා තිබුණත් ඒවා කුමක් විය හැකිද යන්න පිළිබඳව කිසිදු විස්තරයක් ලබා දී තිබුනේ නැහැ. කෙසේ වෙතත් ඒවා තායිවාන පාලනය යටතේ පවතින ප්‍රදේශවලට සිදුකෙරෙන චීන ගුවන් යානා සහ නැව් ආක්‍රමණ විය හැකි බවටයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. එමෙන්ම “ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් තායිවානයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගින්දර සමඟ සෙල්ලම් කරනවා,” චීන විදේශ ඇමති වැන්ග් යී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. “තායිවානයේ සිදු කෙරෙන අපගේ සංචාරය පැහදිලිවම එරට කෙරෙන නියෝජිත කණ්ඩායම් සංචාර කීපයෙන් එකක් වන අතර එය කිසිඳු ආකාරයකින් දිගුකාලීන එක්සත් ජනපද ප්‍රතිපත්තියට පටහැනි නොවේ”. ඇමරිකානු කථානායකවරිය පවසා සිටියා. පෙලෝසි සහ ඇගේ දූත පිරිස රැගත් ගුවන් යානය අද උදෑසන (02) මැලේසියාවෙන් පිටත් වීමට පෙර එරට අගමැති ඉස්මයිල් සබ්රි යාකොබ් සමඟ ඉතා කෙටි හමුවක් ද පවත්වනු ලැබුවා. නැන්සි පෙලෝසිගේ පැමිණීමට ටික වේලාවකට පෙර, චීන Su-35 ප්‍රහාරක ජෙට් යානා චීනය සහ තායිවානය වෙන් කරන තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා පියාසර කළා. කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම ඇමෙරිකානු අත පෙවීම හරහා තායිවාන් සමුද්‍ර සන්ධියේ හෝ තායිවානය අවට මිසයිල ප්‍රහාර එල්ල කිරීම හෝ දිවයිනේ ගුවන් සීමාවට පියාසර කිරීම සහ මහා පරිමාණ නාවික ක්‍රියාවන් වැනි මිලිටරි ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රකෝපකාරී ප්‍රතිප්‍රහාර පියවර ගැනීමට චීනය මග පාදා ඇති බවයි. ඒ සඳහා චීනය මෙම සංචාරය නිදහසට කරුණක් ලෙස යොදා ගත හැකි බවටත් ඔවුන් අන්තුරු අඟවනවා.

Trending

Exit mobile version