Gallery

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ නික්ම යාම

Published

on

අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ඊයෙ (05) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ විහාරස්ථානය ඉදිරිපිට පරිශ්‍රයේ සකස්කළ ආදාහන මළුවේදීය.

මෙරට ශාසනික සහ සාමාජයීය උන්නතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක නියැලි යතීන්ද්‍රයන් වහන්සේ නමක් වූ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන් කා අතරත් ප්‍රසිද්ධව සිටියේ ගංගාරාමේ පොඩි හාමුදුරුවන් ලෙසය.

උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු දෙවැනිදා අපවත් වුණි.

සිය ශාසනික චාරිකාව නිමාකරන විට පොඩි හාමුදුරුවන් 81 වැනි වියෙහි පසුවුණි.

මහජනතාවට උන්වහන්සේට අවසන් බුහුමන් පුදකිරීම සඳහා දේහය හුණුපිටිය ගංගාරාමයේ තැන්පත් කෙරුණේ පසුගිය සෙනසුරාදාය.

මහා සංඝරත්නය, ආගමික නියෝජිතයින්, මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් පසුගිය දින දෙකේ මෙන්ම අද උදෑසන සිටත් දිවයිනේ නන්දෙසින් එහි පැමිණෙමින් ගංගාරාමයේ පොඩි හාමුදුුරුවන්ට අවසන් ගෞරව පුදකළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමද අද දහවල් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වුවේය.

ආදාහන පෙරහර හුණුපිටිය හරස් පාර, ඩබ්ලිව්.ඒ්.ඩී. රාමනායක මාවත, සර් ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත ඔස්සේ ගංගාරාමය ඉදිරිපිට ආදාහන මළුවට ළඟාවුණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආදාහන පූජෝත්සවය ඇරඹුණේ පස්වරු 4.30ට පමණ.

දශක හතක ශාසනික සේවය නිම කරමින් දැයෙන් නික්මෙන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ දේහය චිතකයට වැඩම කරවනු ලැබුවේ ඉන් අනතුරුවය.

සෘජු ගුණයෙන්, ආගන්තුක සත්කාරයෙන්, පරාර්ථ චර්යාවෙන් මෙරට ශාසනික ඉතිහාසයේ පරිච්ඡේදයක් ලියූ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට අමාමහ නිවන් සුව!

Trending

Exit mobile version