International

එංගලන්තය පරදා වාර්තාගත හඹයෑමක නිරත වූ පාකිස්තානු කණ්ඩායමට කඩුලු 10ක විශිෂ්ට ජයක්!

Published

on

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග හතකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය කඩුලු 10කින් ජයගන්නට සත්කාරක පාකිස්තානු කණ්ඩායම සමත්විය. කරච්චිහිදී පැවැත්වූ දෙවන තරගයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක මොයින් අලී පළමුවෙන් පන්දු යැවීම සඳහා පාකිස්තානු
කණ්ඩායමට ආරාධනා කර සිටියේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හේල්ස් හා පිල් සෝල්ට් ලකුණු 42ක ආරම්භක සබඳතාවයක් එක් කල අතර පිල් සෝල්ට් ලකුණු 30කට හා ඇලෙක්ස් හේල්ස් ලකුණු 26කට දැවී ගියේය. ඩේවිඩ් මලාන් ලකුණු නොලබා දැවී යද්දී එංගලන්ත ඉනිමට ජීවය එක් කරන්නට බෙන් ඩකට් සමත් විය. පන්දු 22 කදී හතරේ පහර 7ක්ද සමඟින් ඔහු ලකුණු 43ක් රැස් කළේය. පස්වන කඩුල්ල සඳහා ලකුණු 59ක වේගවත් සබඳතාවයක් එක් කරන්නට හැරී බෲස් සමඟින් එක්වූ නායක මොයින් අලී හට හැකි විය. බෲක්ස් පන්දු 19කින් ලකුණු 31ක් රැස් කළ අතර එම ඉනිමට හයේ පහර 3 ක් හා එක් හතරේ පහරක් අන්තර්ගත විය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක මොයින් අලී ප්‍රවේගකාරී ඉනිමක් දියත්
කරමින් පන්දු 23කදී නොදැවී ලකුණු 55ක් රැස් කළ අතර එම ඉනිම හතරේ පහර 4කින් හා හයේ පහර 4කින්
වර්ණවත් විය. එංගලන්ත පිතිකරුවන් අවසන් භාගයේදී වේගවත් ලකුණු ලබාගැනීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 199ක් කරා යන්නට හැකි විය. පන්දු යැවීමේදි පාකිස්තානය වෙනුවෙන් ශාහ්නවාස් ධවානි හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවාගත්හ. පිළිතුරු ඉනිම සඳහා ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය සත්කාරක පකිස්තානු කණ්ඩායම පන්දු 3ක් ඉතිරිව තිබියදී ලකුණු 203ක් ලබාගනිමින් තරගය ජය ගත්තේය. පළමු තරගයේදී මෙන්ම දෙවන තරගයේදීද සාර්ථක වූ බාබර් – රිස්වාන් සුසංයෝගය පිතිකරණ පාරාදීසයක් වූ කරච්චිහිදී වාර්තාගත සබඳතාවයක් එක් කළ ඔවුන් දෙදෙනා කිසිවෙකු නොදැවී ලකුණු 203ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා පාකිස්තාන ලකුණු පුවරුව රැගෙන ගියේය. ඉනිමේ මුල්භාගයේදී වේගවත් ආරම්භයක් ලබාගත් ලොව අංක එකේ විස්සයි විස්ස පිතිකරු මොහොමඩ් රිස්වාන් සිය 18 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 51කදී නොදැවී ලකුණු 88ක් රැස් කළේ හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් සමගින්. පිතිකරණ පාරාදීසයන්හිදී තමන් තවදුරටත් නොනැවැත්විය හැකි පිතිකරුවෙකු බව පුන පුනා කීමේ රුසියෙක් වූ නායක බබාර් අසාම් සිය දෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය රැස් කළේ පන්දු 66කදී නොදැවී ලකුණු 110ක් ලබාගනිමින්. හතරේ පහර 11කින් හා හයේ පහර 5කින් වර්ණවත්වූ අසාම්ගේ ඉනිම වාර්තා රැසක් අලුත් කළේය. විස්සයි විස්ස ඉතිහාසයේ කිසිවෙකු නොදැවී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් පාකිස්තානු කණ්ඩායමේ ලකුණු 203 වාර්තා පොත් අලුත් කළේය. තරගය කඩුලු 10කින් ජයගත් සත්කාරක පාකිස්තාන කණ්ඩායම තරගාවලියේ තරග 1-1ක් ලෙස ජයගනිමින් එංගලන්තය හා සමතත්වයේ පසුවනවා. ශතකලාභී පාකිස්තාන නායක අසාම් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

Trending

Exit mobile version