International

ඉම්රාන් ඛාන් සමාව ගැනීමට යයි.

Published

on

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ පී.ටී.අයි පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ට එරෙහි අධිකරණයට අපහාස
කිරීමේ නඩුව සමථයකට පත්කිරීමේ පියවරක් ඉස්ලාමාබාද් මහාධිකරණය අද (22) ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ ඉම්රාන් ඛාන් ඔහු විසින් තර්ජනය කළ බව කියන විනිසුරුවරිය හමුවී සමාව ගැනීමට සුදානම් බව ප්‍රකාශ කිරීමත් සමගය. රාජද්‍රෝහී චෝදනා මත පී.ටී.අයි පක්ෂ නායකයකු වන ෂබාස් ගිල් එම විනිසුරුවරිය විසින් රක්ෂිත
බන්ධනාගාරගත කිරීම පසුගිය අගෝස්තු මාසයේ ඉස්ලාමාබාද් නුවර පැවති රැළියකදී ඉම්රාන් ඛාන් විසින්
විවේචනය කළේය. එය විනිසුරුවරියට කළ තර්ජනයක් ලෙසට චෝදනා එල්ලවිය. සිද්ධිය සම්බන්ධව ඉම්රාන් ඛාන්ගේ මුලික ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අද ඔහු ඉස්ලාමාබාද් මහාධිකරණය වෙත කැඳවනු ලැබීය. එහෙත් විනිසුරුවරිය පුද්ගලිකව හමුවී සමාව ගැනීමට කැමැත්ත පළකිරීමත් සමග අධිකරණය ප්‍රකාශ කළේ ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම ප්‍රමාණවත් බවය.
විනිසුරුවරිය මුණගැසීම ඔහුගේ පුද්ගලික කරුණක් බවත් අධිකරණය කියා සිටියේය. සතියක් තුළ දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ලබන ඔක්තෝබර් 3 වනදා නඩුව අධිකරණයේ දී නැවත සලකා බැලීමට නියමිතය.
මෙම නඩුවේදී ඉම්රාන් ඛාන් වැරදිකරු වූයේ නම් ඔහුට වසර පහකට දේශපාලනය තහනම් වීමේ අවදානමක්
පැවතුනි. පාකිස්තානයේ මහ මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version