Local News

අපිට රනිල් එක්ක දීගයක් ඕන නැහැ – මන්ත්‍රී මුජිබර් රහුමාන් 

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ (04) අදහස් දක්වමින් ඔහු සදහන් කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බැවින් එවැනි දේශපාලන දීගයකට යෑමේ වුවමනාවක් නොමැති බවය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා එක්කිරීමට මේ වන විට බොහෝ පාර්ශවයන් දැඩිව උත්සහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව පැවසූ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වන ලෙසට තමන් අත්දෙක එකතු කර ඉල්ලා සිටින බවය.

එසේ කිරීමට අවශ්‍ය සෑම පුද්ගලයෙකු සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ඔහු මෙහිදී සදහන් කලේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයකු වන නන්දන ගුණතිලක මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (04) ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්වී කටයුතු කළ යුතු බවය.

මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්වෙමින් තලතා අතුකෝරාළ මහත්මියද සදහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමකින් තොරව පක්ෂ දෙකටම ඉදිරි ගමනක් නොමැති බවයි

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා එක වහළක් යටට ගෙන ඒමට මේ වන විට ස්ථාන කිහිපයකම විටින් විට සාකච්ඡා පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද පසුගියදා ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රධාන පාර්ශව සන්ධාන ගතවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවය.

කෙසේවෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම සාකච්ඡා සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මිය දැඩිව විරෝධය පලකර ඇති බවය.

Trending

Exit mobile version