Local News

අනුර කුමාරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published

on

ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව සිවිල් සංවිධානයක් විසින් පෙරේදා (27) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ වසර 17ක කාලයක් තිස්සේ රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුකරමින් පාර්ලිමේන්තු නිල නිවාසයක් භාවිත කරන බව පවසමින් සිවිල් සංවිධානයක් වන
සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා විසිනි.

පාර්ලිමේන්තුවට කිලෝමීටර් 25 කටත් වඩා අඩු දුරකින්, කඩවත, කිරිල්ලවල, වැවහේන පාරේ නිවසක් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාට තිබියදී, රජයට මූල්‍ය පාඩුවක් සිදු කරමින් පාර්ලිමේන්තුවෙන් නිල නිවසක් ලබාගෙන වංචනික ලෙස පරිහරණය කර තිබෙන බව සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය සිය පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.

මෙහිදී, සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට නිල නිවසක් ලබාගත හැකි කාරණා මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් සිය සංවිධානය විසින් ඉල්ලා සිටි බවය. 

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට නිවාසයක් ලබාදීමට හැකි වන්නේ අයැදුම්කරු ඇමැතිවරයෙක් නොවිය යුතුය. 

පාර්ලිමේන්තුවේ සිට සැතපුම් 25ක් ඇතුළත දුර නිවාසයක් නොතිබිය යුතුය. 

අයැදුම්කරු සහ කාලත්‍රයා එම දුර තුළ නිවසක් කුලියට හෝ බද්දට නොදී තිබිය යුතුය. 

අයැදුම්කරුට රජයේ හෝ මහල් නිවාසයක නිවසක් නොතිබිය යුතුය යන කාරණා බවට පාර්ලිමේන්තුව විසින් පිළිතුරු වශයෙන් එවා තිබූ බවද ඔහු කීවේය.

මන්ත්‍රිවරයා කඩවත නිවස ලබාගෙන ඇත්තේ 2007 වසරේ මැයි මස 20 වැනිදා බවත්, එසේ තිබියදී වසර 17ක් තිස්සේ රජයට මූල්‍ය පාඩුවක් සිදුකර තිබෙන බවය.

මෙවැනි වරදක් අනාවරණය වූ පසු 2023 අංක 09 දරන දූෂණ විරෝධි පනතේ 90 වගන්තිය අනුව වසර 10කට නොඅඩු සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 10කට නොවැඩි දඩයක් නියම කළ හැකි බවද ඔහු පැවැසීය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version