Local News

අද පස්වරුවේදීත් ප්‍රදේශ රැසකට වැසි.

Published

on

අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ අතර, මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති චණ්ඩ මෝකා සුළි කුණාටුව ඊයේ රාත්‍රිය වනවිට උතුරු අක්ෂාංශ 17.9ත් නැගනෙහිර දේශාංශ 91ත් ආසන්නයේ කේන්ද්‍රගතවී පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් වනවිට ගිණිකොණදිග බංග්ලාදේශයට සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 5-20ත් සහ නැගෙනහිර දේශාංශ 83-100ත් අතර මුහුදු ප්‍රදේශයට යළි දැනුම්දෙන තුරු යාත්‍රා නොකළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ. පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරේ, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, හම්බන්තොට සහ මාතර හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

Trending

Exit mobile version