Connect with us

Local News

රාජ්‍ය සේවයේ වැටුප රු.57500ක් දක්වා වැඩි කරනවා – සජිත් ප්‍රේමදාස

Published

on

රාජ්‍ය සේවයේ අවම වැටුප රු. 57500ක් කරමින් වත්මන් රජයේ අසාධාරණ බදු සූත්‍රය වෙනස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ වව්නියා නගරයේ පැවති ජන රැලියක් අමතමිනි.

එහි දී විපක්ෂ නායකවරයා දැක්වූ අදහස් මතු දැක්වේ.

අපි ළඟ බොරු පම්පෝරි නෑ

අප රටේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්නේ අප රටේ රාජ්‍ය සේවය යි. වර්තමාන රජය සහ ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ වැටුප් කප්පාදු කරන්නට කටයුතු කරපු යුගයක සමස්ත රාජ්‍ය සේවය අඩු කරන්න කටයුතු කරපු යුගයක හිටි හැටියේ ම වැටුප් වැඩි කරනවා කියමින් බොරුවක් ඉදිරිපත් කරන අවස්ථාවේ අපි සමස්ත රාජ්‍ය සේවයට ම අවම වශයෙන් සියයට විසි හතරකින් වැටුප් වැඩි කරනවා. ඒ වගේ ම ජීවන වියදම් දීමනාව රුපියල් දාහත් දහස් අටසීයේ සිට රුපියල් විසිපන් දහස  දක්වා වැඩි කරනවා. ඊළඟට අපි රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් පනස් හත්දස් පන්සියයක් කරමින් වත්මන් රජයේ අසාධාරණ බදු සූත්‍රය පවා වෙනස් කරනවා.

එම බදු සූත්‍රය මේ වන විට සියයට හයයි දශම තුනයි හය දක්වා තිබුනත් ඒක සියයට එකයි දශම දෙකයි හතර දක්වා අඩු කරනවා. මධ්‍යම පාන්තිකයන් මෙන්ම රාජ්‍ය සේවකයන් ශක්තිමත් කරනවා. ලක්ෂ හතකට ආසන්න තැපල් ඡන්ද දායක දායිකාවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන්න නියමිත රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ සහයෝගය සමගි ජන බලවේගයට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. එවිට රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරමින් නියත වැටුප් වැඩි කිරීමට කටයුතු කරන්න පුළුවන්. වත්මන් රජය වගේ බොරු පම්පෝරි දේශපාලන පසෙකලා රාජ්‍ය සේවයේ සේවයේ නිරත රාජ්‍ය සේවකයා ආරක්ෂා කර රැකවරණය ලබා දීමට අපි බැඳී සිටිනවා.

රටේ රාජ්‍ය සේවය නූතනවාදී කරනවා

කලමනාකරණ, සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරි, කෘෂිකර්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු සමස්ත රාජ්‍ය සේවාව රටට සම්පතක්. රටට බරක් ලෙස රාජ්‍ය සේවකයන් සැලකුවේ වත්මන් රජය යි. වෙනත් විකල්ප කණ්ඩායම් මෙරට රාජ්‍ය සේවය මෙරටට හානියක් යැයි කියද්දි රාජ්‍ය සේවය සුරක්ෂා කරන්න රාජ්‍ය සේවයට නව පුහුණු වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කර නිපුණතාවෙන් කුසලතාවෙන් තාක්ෂණික වශයෙන් සන්නද්ධ කිරීම සිදු කරන්නේ සමගි ජන බලවේගය යි.

පොලිස් සේවයේ මාස තුනකට ලබා දුන් බටා එක ස්ථිර කරනවා. ඒ එක්ක ම පොලිස් සේවයේ උසස්වීම් නැවත ලබා දෙනවා. ත්‍රිධද හමුදාවේ වන් රැන්ක් වන් පෙන්ෂන් සංකල්පයත් සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරින්වත් ආරක්ෂා කරනවා. රටේ රාජ්‍ය සේවය නූතනවාදී කරමින් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරින්ට හොඳ පුහුණුවක් ලබා දෙනවා.

ගෝටාභය බලයට ගෙනාවෙ රනිල්

එසේම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නතර කළ නිවාස වැඩසටහන ආණ්ඩුව නැවත ආරම්භ කර ගම් උදා යුගයක් බිහි කරනවා. එදා ජනතාව සමගි ජන බලවේගයට වරම ලබා දී තිබුණේ නම් මේ වන විටත් එම නිවාස ජනතා අයිතියට පත් කරලා. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයේ මහමොළකරුවා වන්නේ රනිල් වික්‍රමසිංහ.

අපි දුප්පත්කම තුරන් කරන්න නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම නිෂ්පාදනය, අපනයනය, ආදී පස් වදැරුම් වැඩසටහන තුළ දුගී දුප්පත් ජනතාවට දුප්පත්කමින් මිදෙන්නට මසකට රු. විසි දහසක් බැගින් මාස විසි හතරක් දීලා දුප්පත්කම තුරන් කරනවා. මේකදුප්පත්කම තුරන් කිරීමේ තිරසර ස්ථාවර වැඩසටහනක්.  

යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර බල ප්‍රදේශ වෙනුවෙන් ජාත්‍යයන්තර ආධාරක සමුළුවක් පවත්වන්න හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම වත්මන් ජනාධිපතිටත් බැරි වුණා. එයාල ඒක පැවැත්තුවෙ නැත්තෙ නොහැකියාව සහ ජාතිවාදය නිසා. ඒ නිසා සමගි ජන බලවේග රජයක් තුළ මේ පළාත් දෙක කේන්ද්‍ර කර ගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවලා රට පුරා දැවැන්ත සංවර්ධනයක් සිදු කරනවා.’’