Connect with us

Local News

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹේ

Published

on

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අදින් (04) ආරම්භ වනවා.

හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඒ සඳහා මධ්‍යස්ථාන 1500කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත අතර අද (04) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආයතනවල ස්ථාපිත තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

අද, හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 සහ 12 ඡන්දය සලකුණු කළ හැකියි.

අද දිනයේ තැපැල් ඡන්දය භාවිත කිරීමට හැකියාව තිබෙන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු මැතිවරණයට සෘජුව සම්බන්ධ වන රාජ්‍ය ආයනනවල රාජ්‍ය සේවකයින්ට බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල කාර්යය මණ්ඩලයට අද හා හෙට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින අතර හෙට සහ අනිද්දා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනු ඇති.

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 712,319 ක්.

මේ අතර තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.