Connect with us

Local News

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ 53 වැනි ගුණ සමරුව හෙට.

Published

on

ලක්දිව සෑම දරුවෙකුටම පළමුවන ශ්‍රේණියේ සිට සරසවි අධ්‍යාපනය නිමවන තුරු නොමිලේ අධ්‍යාපනය ලබාගැනීමට හැකි වන අයුරින් නිදහස් අධ්‍යාපනයක් නිර්මාණය කළ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා දිවංගත වී හෙටට (23) වසර 53ක් සපිරෙනවා. වර්ෂ 1884 ඔක්තොම්බර් 13 වෙනි දින දකුණු සිරිලක බළපිටිය රන්දොඹේ ගම්මානයේ උපත ලද කන්නන්ගර මහතා, මූලික අධ්‍යාපනය රන්දොඹේ වෙස්ලි විද්‍යාලයෙන් ලබන අතර දී ලැබුණු ශිෂ්‍යත්වයක් මත ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වූ අයෙක්. ගණිත අංශයෙන් ලංකාවේ පළමුවන සිසුවා ලෙස සමත් වී ඇති ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු රිච්මන්ඩ් විද්‍යාලයේම ගුරුවරයෙකු වශයෙන් සේවයට පිවිස පසුව නීතිය හදාරා නීතිඥයෙකු වශයෙන් ගාලු අධිකරණයේ සේවය කර තිබෙනවා. 1917 වසරේ ද ගාලු ජාතික සංගමය නම් දේශපාලන සංවිධානය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ මුත්තණුවන් වූ බද්දේගම විසු සී.එල්.වික්‍රමසිංහ ඇතුළු ගාලු ප්‍රදේශයේ ජන ප්‍රධානීන් සමඟ ආරම්භ කළ ඒ මහතා එම සංගමයේ ලේකම් වශයෙන් කටයුතු කළ අතර පසුව ලංකා ජාතික සංගමයට එක් වූ සී. ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර, වරෙක එම සංගමයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ අයෙක්. 1923 වසරේ ව්‍යවස්ථාදායක සභාවට දකුණු පළාතේ මන්ත්‍රීවරයා වශයෙන් තේරි පත් වූ ඔහු පසුව ගාල්ලේ මන්ත්‍රීවරයා වශයෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කර තිබෙනවා. 1946 වසරේ දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට මුල් වූ නායකයන් අතර මෙතුමා ද ප්‍රධාන අයෙක්. ඇමතිවරයෙකුව සිටියදී කිසි විටෙක විදේශ සංචාරවල නොයෙදුණ මෙතුමා අවංක දේශපාලකයෙකු වශයෙන් රටවැසි සියලු දෙනාගේ ගෞරවයට නිබඳවම පාත්‍ර වනවා.
1969 සැප්තැම්බර් 23 වෙනි දින ඔහු දැයෙන් සමුගත්තේ මීට වසර 53කට පෙර අද වැනි දිනයක යි.

Continue Reading