Connect with us

International

එලිසබෙත් මහ රැජිණගේ දේහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට.

Published

on

අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය බකිංහැම් මාලිගාවේ සිට විචිත්‍ර පෙරහරකින් අද ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලාව හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවා. මහජන ගෞරවය දැක්වීම සඳහා රැජිනගේ දේහය දින 4ක් එහි තැන්පත් කර තැබෙනු ඇති. ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේ තැන්පත් කර තිබු දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ මහජනතාවට පළමු වරට අවස්ථාව උදාවුණා. ඊට පළමුව අවස්ථාව හිමිවුණේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකටයි. වනෙස්සා නන්තකුමාරන් නමැති 56 හැවිරිදි මෙම කාන්තාව 1980 වර්ෂයේදී බ්‍රිතාන්‍ය බලා ගොස් තිබුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහායි. පරිපාලන නිලධාරිනියක ලෙස ඇය මේ වනවිට බ්‍රිතාන්‍යයේ සේවය කරමින් සිටින අතර ඇයගේ දියණිය ද රාජකීය හමුදාවේ කැඩෙට් නිලධාරිනියක ලෙස කටයුතු කරමින් සිටිනවා. 1937 වසරේ දී එවක සිලෝන් ලෙස හැඳින්වූ මෙරට දේශපාලනඥයෙක් ලෙස කටයුතු කළ වෛතලිංගම් දුරෙයිස්වාමි නම් මෙම
කාන්තාවගේ ඥාතිවරයෙකුට මහරැජිනගේ පියා වන 6 වැනි ජෝර්ජ් රජු නයිට් නාමයක් ද ප්‍රදානය කර තිබෙන
බවයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ. මට මේ අවස්ථාව ලැබෙයි කියලා මම බලාරොත්තු වුණේ නැහැ. රැජිනට ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වෙනවා. මම ඇත්තටම පුදුමයට පත්වුණා. අව්ව වැස්ස තිබුණා. ඒත් මම ඒවා නොතකා නැවතිලා ඉඳලා රැජිනට ගෞරව දැක්වූවා. මේ අතර ඊයේ රාත්‍රියේ ස්කොට්ලන්තයේ සිට බකිංහැම් මාලිගාවට රැගෙන ආ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පස්වරු 2.22ට විචිත්‍රවත් පෙරහරකින් වෙන්ස්ට්මිනිස්ටර් ශාලාව හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවා. මහජන ගෞරවය සඳහා රැජිනගේ දේහය සිව්දිනක් එහි තැන්පත් කර තැබෙන අතර එම පෝලිම කිලෝමීටර 8ක් පමණ දිගුවනු ඇතැයි අපේක්ෂිතයි. මේ අතර බ්‍රිතාන්‍යයේ නව රජු බවට පත් වූ තුන්වැනි චාල්ස් රජු ඊයේ උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරත වුණා.