Connect with us

International

සෝවියට් සමූහාණ්ඩුවේ අවසාන නායකයා දිවියට සමුදෙයි.

Published

on

සෝවියට් සමූහාණ්ඩුවේ අවසාන නායකයා වූ මිහයිල් ගොර්බචොව් දීර්ඝකාලීනව පෙළුණු වකුගඩු රෝගයක් හේතු කරගනිමින් ඊයේ (30) මොස්කව්හි රෝහලක දී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මිය යන විට 91 වැනි වියේ පසු වූ අතර, ඔහුගේ මියයාම ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වා දෙන්නේ “සීතල යුද්ධය ලේ වැගිරීමකින් තොරව අවසන් කළ, සෝවියට් සංගමයේ බිඳවැටීම වළක්වා ගන්නට අසමත් වූ නායකයා මිය ගියා.” යනුවෙන්. සෝවියට් සමූහාණ්ඩුවේ අවසාන නායකයා වූ මොහු සෝවියට් සංගමය තුළ තීරණාත්මකම වෙනස්කම් රැසක් සිදු කළ නායකයෙක්. මොහුගේ පාලන කාලය යනු සෝවියට් සංගමයේ තීරණාත්මක ම කාලවකවානුව වූ අතර, දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපය දෙකඩ කරමින් ඉදිව තිබූ බර්ලින් තාප්පයෙන් වැසී ගිය ජර්මනිය යළි ඒකාබද්ධ කිරීම සිදු වූයේ ද මොහුගේ පාලන සමයේ ය. එමෙන්ම ලෝක ඉතිහාසයේ සිදු වූ දරුණුම න්‍යෂ්ටික අනතුර වූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා ගියේද මොහුගේ පාලන සමය තුළයි. එම පිපිරීම ද සෝවියට් සංගමයේ අවසානය නිවේදනය කළ සංඥාවක් වූ අතර සෝවියට් සමූහාණ්ඩුව බටහිරට විවෘත කළ නායකයා වන්නේද මොහුයි. ක්‍රෙම්ලීනයේ පාලනයට යටත්ව පැවති සෝවියට් සමූහාණ්ඩුව, නව රුසියාව බවට පත් වීමට බලපාන ලද ප්‍රතිසංස්කරණ පද්ධතිය හඳුන්වා දුන් නායකයා ද වන්නේ ගොර්බචොව්. සෝවියට් සංගමයට ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සීතල යුද්ධය ලේ වැකි යුද්ධයක් බවට පත් කිරීම වෙනුවෙන් ගොර්බචොව්ට 1990 වසරේ නොබෙල් සාම ත්‍යාගයටද පාත්‍ර වුණා. අවසාන සෝවියට් නායකයාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, පුටින්ගේ යුක්රේනය ආක්‍රමණය උපුටා දක්වමින් පැවසුවේ, “සෝවියට් සමාජය විවෘත කිරීම සඳහා ගොර්බචෙව්ගේ වෙහෙස නොබලා කැපවීම අප සැමට ආදර්ශයක්” බවයි. මේ අතර, හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජේම්ස් බේකර්, ගොර්බචෙව් පිළිබඳ විස්තර කළේ “ඔහුගේ ශ්‍රේෂ්ඨ ජාතිය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යොමු කළ යෝධයෙකු” ලෙසයි. තව ද, එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ “ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ” නායකයා ගොර්බචොව් බවයි.

Continue Reading