Connect with us

International

පෙරළිකාර ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශය අසීරු තත්වයක.

Published

on

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 127ක් රැස්කර
ගත්තා. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් දෙවරක් නොසිතා පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. නමුත් ඔහුගේ එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට බංග්ලාදේශ කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් කිසිවෙකුත් සමත් වූයේ නැහැ. මුළු ලකුණු සංඛ්‍යාව 7 ක් ව තිබියදී මොහොමඩ් නයීම් ලකුණු 6 කට දැවී ගිය අතර බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස එනමුල් හක් ලකුණු 5කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 13 ක්ව තිබියදී. ඉන් අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන් මුළු ලකුණු සංඛ්‍යාව 24 ක් ව තිබියදී දැවී ගියේ ලකුණු 11 ක් ලබා සිටියදීයි. පළපුරුදු පිතිකරුවකු වන මුෂ්ෆිකර් රහීම් ලකුණු තුනකටත්, අෆිෆ් හුසේන් ලකුණු 12ටත් රෂීඩ් ඛාන් ගේ පන්දු හමුවේ දැවී ගියේ බංග්ලාදේශ කණ්ඩායම බරපතල අගාධයකට ඇද දමමින්. ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුවේ සටහන් වුණේ ලකුණු 53 කට කඩුලූ 5 ක් වශයෙන්. ඉන් අනතුරුව තරමක් ස්ථාවරව පන්දුවට පහරදෙමින් සිටි මොහොමඩ් අමනුල්ලා ලකුණු 25 කට දවා ගන්නට රෂීඩ් ඛාන් සමත්වුණා. පසු පෙළින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළ මොසඩක් හොසෙයින් නොදැවී වේගවත් ලකුණු 48ක් රැස්කර ගත්තේ පන්දු 31 ට පමණක් මුහුණ දෙමින්. ඔහුගේ අලංකාර ඉනිමට හතරේ පහර 4 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුණා. හත්වැනි කඩුල්ල සඳහා මොසඩක් හොසෙයින් සහ මෙහෙදි හසන් අතරේ ගොඩනැගුනු ලකුණු 38ක සම්බන්ධතාව හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට යම්කිසි අස්වැසිල්ලක් හිමි වූ අතර ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 127 ක් දක්වා ඉහලට
ගෙන ඒමට එය සමත් වුණා. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මුජිබර් රහුමාන් ලකුණු 16කට බංග්ලාදේශ ඉනිමේ කඩුලු 3ක් බිඳ හෙලුවා. එමෙන්ම රෂීඩ් ඛාන් ලකුණු 22 කට දවා ගත් බංගලදේශ කඩුලු සංඛ්‍යාව තුනක්.