Local News

හෙදියගේ හිසට කතුරකින් ගැසුවාට වන්දි ගෙවන්නැයි දොස්තරට නියෝග

Published

on

දියවැඩියා රෝගියකුගේ පාදයක ඇඟිල්ලක් කපා ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකරන අතරතුර ශල්‍යාගාරය තුළදීම සහායට සිටි හෙදියගේ හිසට කතුරකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අදාළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා හෙදියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කාර හෙදියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසටයි වගඋත්තරකරුට නියෝග කර ඇත්තේ.

ඊට අමතරව මාධවි බුද්ධිකා රාජගුරු නමැති පෙත්සම්කාර හෙදියට රුපියල් 10,000ක වන්දියක් ගෙවන ලෙසටත් විජිත් මලල්ගොඩ හා අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඬුල්ල විසින් රජයට ද නියෝග කර තිබෙනවා.

2019.03.12 වැනිදා කුරුණෑගල මූලික රෝහලේ ශල්‍යාගාරයක් තුළදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය අසෝක විජේවර්ධන මහතා සිදුකළ ශල්‍යකර්මයට තමා සහභාගි වූ බවත්, ශල්‍යකර්මය අතරතුරදී ඔහු ඉල්ලා සිටි කතුර වෙනුවට වෙනත් කතුරක් ලබාදුන්නේ යැයි චෝදනා කරමින් එම කතුරෙන්ම තමාගේ හිසට පහරදීමෙන් වෛද්‍යවරයා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙන්වා දෙමින් එවකට එම රෝහලේ හෙදියක් ලෙස සේවය කළ මාධවි බුද්ධිකා රාජගුරු මහත්මිය අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා.

Trending

Exit mobile version