Sports

එක් පන්දුවාරයක දී ලකුණු 39ක් රැස්කරයි

Published

on

විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව බිඳ හෙළීමට සැමෝවා ක්‍රීඩක ඩයිරුස් වයිසර් (Darius Visser) සමත් වුණා.

ඒ, විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පැවැත්වෙන නැගෙනහිර ආසියා – පැසිපික් කලාපීය තරගයේ දීයි.

එහි දී වනුවාටු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නලින් නිපකෝ විසින් ක්‍රියාත්මක කළ 15 වැනි පන්දුවාරයේ දී අදාළ වාර්තාව පිහිටුවා ඇති බවයි, ජගත් ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

එහි දී ඩයිරුස් වයිසර් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 39ක්.

පළමු පන්දු තුනකට ලකුණු හය බැගින් රැස්කරගැනීමට ඔහු සමත් වුණා.

සිව් වන පන්දුව නිපන්දුවක් වූ අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක කළ පන්දුවේ දී ද ඩයිරුස් වයිසර් ලකුණු හයක් ලබා ගත්තා.

පස්වන පන්දුවට ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. හය වන පන්දුව යොමු කෙරුණේ ද නිපන්දුවක් ලෙසින්.

ඉන් අනතුරුව යොමු වූ පන්දුව ද නිපන්දුවක් වූ අතර ඊට ලකුණු 6ක් ලබා ගැනීමටයි ඩයිරුස් වයිසර් සමත් වුණේ. අවසානයේ දී ක්‍රියාත්මක වූ පන්දුවට ද ඔහු ලකුණු 6ක් රැස්කළා.

ඒ අනුව එම පන්දුවාරයේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 39ක්.

මෙම තරගයේ දී ඩයිරුස් වයිසර් ලකුණු 132ක් රැස්කරගත්තේ, පන්දු 62කට මුහුණ දෙමින්. ඊට හයේ පහරවල් 14ක් සහ හතරේ පහරවල් 05ක් ඇතුළත්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සැමෝවා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවි ලකුණු 174ක් රැස්කරගත් අතර ඊට පිළිතුරු ලෙස වනුවාටු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවි ලබාගත්තේ ලකුණු 164ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 10ක ජයක් සැමෝවා කණ්ඩායමට හිමි වුණා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 2026 විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ කලාපීය තරගය ලෙසයි.

Trending

Exit mobile version