Local News

උතුරේ සිංහලයන්ගේ ගැටළුවලට විසඳුම් ඉල්ලා ජනපති අපේක්‍ෂකයන්ට යෝජනා මාලාවක්

Published

on

උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාවට අත්විඳීමට සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක් භාර දීමට “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව” තීරණය කර තිබෙනවා.

යුද්ධය නිමාවී වසර 15 කට ආසන්න කාලයක් ගතව ඇතත්, පවතින ගැටළු හේතුවෙන් උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාව දැඩි ලෙස අසරණව සිටින බවයි එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ. කේ. සුනිල් කුමාර මහතා සඳහන් කළේ.

උතුරු පළාතේ සිංහල ජනතාවගේ උපත්, මරණ සහ විවාහ සහතික දමිළ භාෂාවෙන් නිකුත් කිරීම, මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සඳහා පොදු සුසාන භූමියක් නොතිබීම, (මන්නාරම), 2015 ක්‍රියාත්මක කරන ලද සීමා නීර්ණ වෙන් කිරීම යන ගැටළු පිළිබඳ එමඟින් අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම උතුරු නැඟෙනහිර සිංහල මාධ්‍ය පාසල්වල ගුරු හිඟයට ගුරු සහයකයන් බඳවා ගැනීම, උතුරු පළාතේ සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සිංහල ජනතාවගේ සේවා පහසුකම් වෙනුවෙන් සිංහල නිලධාරීන් අනුයුක්ත කිරීම, මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය සම්පත් නුවර ජාතික පාසලට උසස් පෙළ සඳහා විද්‍යා හා ගණිත විෂයයන් ලබා නොදීම හා ගුරු පුරප්පාඩු පැවතීම, මන්නාරම් දිස්ත්‍රික්කයේ රාජ්‍ය පරිපාලනයට බිෂොප්වරුන් හා පූජකවරුන් දැඩි බලපෑම් සහ අතපෙවීම යන ගැටළුව ඊට ඇතුළත්.

ඒ අනුව මෙම සියළු ගැටළුවලට ජනාධිපති අපේක්ෂකයන්ගෙන් විසඳුම් බලාපොරොත්තුවීම සිය අපේක්ෂාව වන බවයි ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවේ’ මාධ්‍ය ප්‍රකාශක කේ. කේ. සුනිල් කුමාර මහතා පැවසුවේ.

Trending

Exit mobile version