Connect with us

Local News

එක්ස්ප්‍රස් පර්ල් – විමර්ශනවලට අදාළ පැමිණිල්ල යළි අප්‍රේල් මස 29 වනදාට

Published

on

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ විමර්ශනවලට භාජනය වී තිබෙන ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ පැමිණිල්ල යළි අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද (03) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

එම අවස්ථාවේදී මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සේවකයින් 07දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනවලදී ඇතැම් ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත මකාදමා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති බව පවසා ඇත. 

මෙම ප්‍රශ්නගත ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විද්‍යාගාරයේ තිබෙන දත්ත ගබඩාවේ රඳවා තිබෙන බවත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම දත්ත ගබඩාව අක්‍රිය වී ඇති බැවින් එම පිටපත් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සඳහන් කර තිබේ. 

පෞද්ගලික සමාගමක සේවය ලබාගෙන එම දත්ත ගබඩාව පිළිසකර කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිඑක්ලක්ෂයක පමණ මුදලක් වැය වන බවට ගණන් බලා තිබෙන බැවින් එම පිළිසකර කටයුතුවලින් පසුව අදාළ දත්ත පිටපත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය. 

ඒ අනුව එම කටයුතු ඉටුකිරීම සඳහා මාස තුනකට වැඩි කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළකළ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි සරත් ජයමාන්න, අනුර මැද්දෙගොඩ යන ජනාධිපති නීතිඥවරු සමග කරුණු දැක්වූ සෙසු නීතිඥවරු කියා සිටියේ මේ ආකාරයෙන් කල් ඉල්ලා සිටීම දැඩි අසාධාරණ බවය. 

මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන කටයුතු අවසන්වීමට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ගත් පියවර නිවැරදි නොවන බව සඳහන් කළ එම නීතිඥවරුන් මෙම සැකකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මෙහෙස්ත්‍රාත්වරයා ඉදිරි නඩු දිනවලදී මෙම නඩුකරයේ සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් පමණක් පෙනී සිටීම ප්‍රමාණවත් බව සඳහන් කළේය.

එහෙත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව දැනුම් දෙන අවස්ථාවක සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් විය යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *